අත්තනාව කතං පාපං
අත්තජං අත්ත සම්භවං
අභිමත්ථති දුම්මේධං
වජිරං
වසමයං මණිං
ශුද්ධාවන්ත පින්වතුනි,
සමාජයේ හොඳ ජීවිතයක් ගත කරන කෙනෙක්, හදිසි අනතුරකින් හරි, සතුරු උපද්‍රවයකින් හරි, මරණයට පත් වෙනවා දකින සමහර කෙනෙක්, “අන්න හොදින් ඉඳලත් වුන දේ” කියලා, ප්‍රතිපත්ති ගරුක ජීවිතේ අගය ගැන සැක හිතනවා. කුසල් අකුසල් වල ඵල විපාක ගැන ඇති විශ්වාසය අඩපණ කරගන්නවා. ඒ විදියට එහෙම සැක හිතන්නේ කර්ම චක්‍රයේ සියුම් ක්‍රියාකාරීත්වය ගැන හරියාකාර අවබෝධයක් නැති නිසයි.
බුදුපියාණන් වහන්සේ දක්වා වදාළා සත්ත්වයා අවිද්‍යාව නිසාත්, තණ්හාව නිසාත් - අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා - කරන කුසලාකුසල කර්මයන්න, තමා කියලා ඒ හැඟීම ඇතිව ආත්මාතකාමීව කරන කුසලාකුසල කර්මයන්න - තමාම වග කිව යුතු බව. ඒවායේ එල විපාක විඳිය යුතු බව. කවදා හෝ ඒවායේ විපාක විඳින්නට සිද්දවෙන බව බුදුපියාණන් වහන්සේ දක්වා වදාළා. කර්මයේ සියුම් ක්‍රියාකාරීත්වය අනිකුත් ශාස්තෘවරුන්ට පෙනුනේ නැතත් බුදුපියාණන් වහන්සේට හරියාකාර පෙනී ගියා. ඒක නිසා උන්වහන්සේ සමහර අවස්ථාවල, සමාජයේ අර විදියේ වැරදි අදහස් ඇතිවෙන අවස්ථාවලදී, ඒ වර්තමාන සිද්ධියට අදල අතීත කථාන්තරයත් දක්වලා නිදසුන වශයෙන් - සාධක වශයෙන් - ඒ විදියේ ප්රත්යක්ෂ සාධකයන් ලෝකයාට ඉදිරිපත් කරලා, ලෝකයා දුගති මාර්ගයෙන් මුදවලා සුගතියට - නිවනට - යොමු කරන්න අවස්ථාව සලසා ගත්තා.
දැන් අපි අද මේ මාතෘකා කරගත්තු ගාථාවට අදාළ නිදාන කථාවත් ඒ වගේ එකක්. බුදුපියාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ වසන කාලයේ, ඒ සැවැත් නුවර වාසය කළා මහාකාල කියලා ශ්රද්ධාවන්ත සෝවාන් උපාසක මහත්මයෙක්. නිතිපතා අටසිල් සමාදන් වන්න පුරුදු වෙලා හිටියා. මාසෙකට අට දවසක් විහාරයට ඇවිල්ල ඒ විදියට සිල් සමාදන් වෙලා මුළු රෑම බණ අහනවා. ඔය විදියට ඒ පිළිවෙතට නැඹුරු වෙලා හිටියා. එක දවසක් ද ඒ උපාසක මහත්මයා එහෙම ඇවිල්ලා ජේතවනාරාමයේ සිටින අවස්ථාවේ රාත්‍රි කාලයේ හොරු රංචුවක් ඒ අසල ගෙයක් බිඳල බඩුගන්න සුදානම් වෙනකොට සද්දේ ඇහිලා ගෙහිමියන් නැගිටලා මේ හොරුන් පසුපස එලවන්න පටන් ගත්තා. හොරුත් ඒ ඒ තැන බඩු දමලා දුවන්න පටන් ගත්තා. මේ පිරිසෙන් එක හොරෙක් තමන් අරගත්තු බඩු ටිකත් එක්ක මේ ජේතවනාරාමයට යන මාර්ගයේ දුවගෙන යනවා. ඒ අවස්ථාව වෙන කොට උදෑසනම අර මහාකාල උපාසක මහත්මයා පොකුණ ළඟට ඇවිල්ල මුණ කට හෝදනවා. මේ හොරා කළේ මොකද්ද, අර උපාසක මහත්මයා ඉන්න තැන බඩු පොදිය දාල - අර මිනිස්සු පස්සෙන් පන්නන නිසා රවට්ටන්න හිතාගෙන වෙන්න ඇති - බඩු පොදිය දමලා දුවලා ගියා. අර ගෙහිමි කට්ටිය ඇවිල්ල බලන කොට මේ බඩු පොදිය තියෙනවා. උපාසක උන්නැහෙ ඉන්නවා. ඊළඟට අල්ල ගත්තා. “උඹ මේ අපේ ගේ බිඳලා මෙතන බොරුවට බණ අහනවා වගේ පෙන්නලා උපාසක කමට ඉන්නවාය. හොර උපාසකයෙක්”ය කියලා, අල්ලලා හොදටම තලලා, මරලා එතනම දමලා ගියා.
ඒ පොකුණ ළඟට උදෑසන සාමණේර හාමුදුරුවරු ආවා වතුර ගෙනියන්න. මේ උපාසක මහත්මයා මේ විදියට මැරිලා ඉන්නවා දැකලා බුදුපියාණන් වහන්සේට ගිහිල්ලා ප්‍රකාශ කළා. “අන්න අර අහිංසක උපාසක මහත්මයා, අර හොඳට බණ අහන උපාසක මහත්මයා මරල දාල ඉන්නවා” කියලා.
බුදුපියාණන් වහන්සේ වදාළා, “මහණෙනි, මේ ජීවිතයේ පැවැත්ම හැටියට ඒ උපාසක මහත්මයාට ලැබුනේ නුසුදුසු මරණයක් හැටියට පෙනුනත්, අතීතයේ කළ පාප කර්ම අනුව නම් හරියටම ගැලපෙන මරණයක්ය” කියලා ඔන්න ළඟට අතීත කථාව වදාළා.
අතීතයේ බරණැස් රජ්ජුරුවන්ගේ රාජධානියේ මායිම් ගමක කැලෑවට ඇතුල් වන තැන, ඒ කැලෑවේ වැදිලා සිටින හොරුන්ගෙන් මගීන්ට උපද්‍රව ඇතිවන නිසා රජ්ජුරුවො එක්තරා රාජ භටයෙක් එතන නතර කරලා තිබුණා. රාජ භටයාට අයිති කාර්යය මොකක්ද, ඒ කැලෑ මාර්ගයේ යාමට ඒමට ඉන්න අයට ආරක්ෂාව සැළසීමයි. එක දවසක් දා මෙතනට ආවා එක්තරා මනුෂ්‍යයෙක් රථයක නැගිලා තමන්ගේ රුමත් භාර්යාවත් එක්ක. ඒ භටයා ඒ තැනැත්ති දැක්ක හැටියේ යම්කිසි ඇල්මක් ඇති කරගෙන උපාය මාර්ගයක් කල්පනා කළා මේ අය රඳවා ගන්න. හොඳට යන්න වෙලාව තිබුණත් කිව්වා - “දැන් අද හැන්දෑ වුණා වැඩිය. ඒක නිසා අද නවතින්න. මගේ ගෙදර නවාතැන් දෙන්නම්. හෙට උදේට යන්න” කියලා. නමුත් අර මනුෂ්‍යයා කිව්වා. “නෑ නෑ, ඕන තරම් වෙලාව තියෙනවා. අපිට යන්න සලස්වන්න” කියලා. අර රාජ භටයා කළේ මොකද්ද, තමන්ගේ මනුෂ්‍යයින් යොදවලා බලහත්කාරයෙන්ම අර රථය නවත්වලා අර මනුෂ්‍යයාටත්, ඒ භාර්යාවටත්, එතන නවාතැන් දුන්නා. ආහාරපාන එහෙම දුන්නා. රාත්‍රියේ එක්තරා උපක්‍රමයක් යෙදුවා. තමාගේ මනුෂ්‍යයින් ලවා ගෙදර තිබුන මැණිකක් අර රථයේ සැඟවුවා. සඟවන්න සැලැස්සුවා. ඒ වගේම ගෙදරට හොරු ආපු හැටියට යම්කිසි ශබ්දයකුත් ඇතිකළා. ඊළඟට පස්සෙන්දා උදෑසන අර දෙන්න පිටත්වෙලා ගියාට පස්සේ අණ කළා. “දැන් මේ ගමෙන් පිටවෙන්න ඉන්න අය පරීක්ෂා කරන්න. අපේ ගෙදර තිබුන මැණික නැතිවුණා. හොරු ඒක අරන් ගියා” කියලා, ඉතින් අර පිරිස ගිහිල්ලා, රථය අල්ලගෙන පරීක්ෂා කරලා තමන්ම සඟවල තිබුන මැණික අරගෙන අර මනුෂ්‍යයාව ඉදිරිපත් කළා ගම්පතියාට අවනඩුවකුත් එක්ක. “මේ තමන්ට නවාතැන් දුන්න රාජ භටයගේ මැණික හොරකර්ම කළා” කියලා. අර ගම්පතියාත් කාරණය හරියට දන්නේ නෑ. ඒ නිසා මේ මනුෂ්‍යයාට තලලා වධයට පත්කරන්න අණ කළා. ඒ කළ ප්‍රාණඝාත අකුසලයේ විපාක බුදුපියාණන් වහන්සේ වදාළා. විපාක වශයෙන් අර රාජ භටයා දීර්ඝ කාලයක් අවීචියේ පැසිලා, ඒ විපාකවල කෙළවර හැටියට, ඉතිරි කොටස හැටියට, ආත්ම භාව සියයක්ම අර විදියටම තැළුම් කාලා මරණයට පත්වන්න අවස්ථාව සැලසුණ බවත්, මේ අවස්ථාවේ සිදුවුණෙත් ඒකම බවත්, මේ මහාකාල පිළිබදවයි මේ කථාව කියලා අන්න ඒ විදියට බුදුපියාණන් වහන්සේ ඒ කාරණය දැක්වුවා. මෙහෙම දක්වලා “මහණෙනි යම්කිසි කෙනෙක් ඒ විදියට මුළාවෙලා තමා විසින් යම්කිසි පාපකර්මයක් කළොත් ඒක මේ ආකාරයට විපාක දෙනවාය” කියලා එක්තරා උපමාවකුත් එක්ක අපි අර කලින් සඳහන් කළ ගාථා ධර්මය වදාළා.
අත්තනාව කතං පාපං
අත්තජං අත්ත සම්භවං
අභිමත්ථති දුම්මේධං
වජිරං
වසමයං මණිං
තමා තුළින්ම උපන්නාවූ, තමා තුළින්ම හටගත්තා වූ, පාපකර්මය, ගලින් හටගත් වජ්ර මාණික්‍යයක්, ගලින්ම හටගත් මැණිකක් විදලා සිදුරු කරලා විනාශ කරන්නා වගේ අඥාන පුද්ගලයාව විනාශයට පත් කරනවාය කියන එකයි ඒ ගාථාවේ අදහස.
එතකොට මෙතන මේ ගාථාවෙත් මැණිකක් පිළිබදව සඳහන් වෙනවා. අර කථාන්තරයටත් යන්තම් හරි සම්බන්ධතාවක් වගේ පේනවා. ඊට වඩා ගැඹුරු අදහසක් මෙතන තිබෙනවා. මේ තමා විසින්ම කරන ලද කියන කොට, මේ තුළින් අපට පේනවා අන්න අර වගකීම පිළිබද හැඟීම. අර උපාසක මහත්මයා අතීතයේ ආත්මාර්ථකාමිව තමා කියන හැඟීම අරගෙනයි අර විදියට පාප කර්මය කළේ. එහි අනිවාර්ය විපාකය, ඒ පැවරූ අවනඩුවේ - ඇත්ත වශයෙන්ම අවනඩුවක් පැවරූවේ - ඒ අවනඩුවේ විපාකයයි මේ ආත්ම භාවයේදී විඳින්ට සිද්ද වුනේ. එතකොට ලෝකයේ බොහෝ විට අපට පේනවා අහිංසක මනුෂ්‍යයින් මරා දමනවා වගේ. නමුත් බුදුඇසට සමහර විට පෙනෙනවා ඇති එවායේ අතීත සම්බන්ධතාව. දැන් මේ කථාන්තරය ආශ්රයෙන් අපට හිතාගන්ට පුළුවන්. ඉතින් මෙතන විශේෂයෙන්ම අපට පේනවා අර ඒ මහාකාල උපාසක මහත්මයා අතීතයේ රාජ භටයෙක් වෙලා, තුන් වන ශික්ෂා පදයට අදලව, ඒ වගේම පළමුවන ශික්ෂාපදය කැඩීම් වශයෙන්, අර ප්රාණසාතය පැමිණෙව්වා, අහිංසක මනුෂයකුට. ඒ පැවරූ අවනඩුවේ තීන්දුවයි. එතකොට ඒ අනුවයි අර හොරුත් බඩු පොදිය එතන දලා ගියේ. හොරුන්ට ඒක දලා යන්න හිත් දුන්නෙත්. අන්න ඒ විදියේ මහ පුදුම කර්ම සම්බන්ධයක් තිබෙනවා මේ සිද්ධි වල. අපිට අහන්ට ලැබෙන හැම දෙයක් තුළම මේ තත්ත්වය තිබෙන බව අපිට පෙනෙනවා. අපිට හිතාගන්ට පුළුවන් මේ ආශ්රයෙන්. අදත් මේ විදියේ සිද්ධි කොතෙකුත් සිද්ද වෙනවා. මේ වර්තමාන කථාවෙත් අතීත කථාවෙත් දක්වෙන විදියේ සිද්ධි, අදත් ලෝකේ අපිට දකින්ට ලැබෙනවා. මේ හැම එකක් තුළම සියුම් ආකාරයෙන් මේ කර්මයත් විපාකයත් පිළිබද ධර්මතාව සැගවිලා තිබෙන බව අපිට මේ ආශ්රයෙන් හිතාගන්ට පුළුවන්.
ඊළඟට අපි දැන් විශේෂයෙන් කල්පනා කරලා බලන්ට ඕන මේකේ ගැඹුරු අංශය ගැන. දැන් මේ ගාථාවේ කීප තැනක සඳහන්වුනා. “තමා විසින්ම කරන ලද”, “තමා තුළින්ම උපන්”, “තමා තුළින් හටගත්” කියලා. මේ විදියට “තමා” ගැන විශේෂයෙන් සඳහන් වෙනවා. ඇත්ත වශයෙන්ම මේ ගාථාවත් - “අත්ත වග්ග” කියලා කියන කොටසෙයි එන්නේ. ආත්ම වශයෙන් කියලා බොහෝ දෙනා පහසුවට ඒක පරිවර්තනය කරන්නේ. නමුත් මේ ධම්මපදයේ එක කොටසක් තියෙනවා තමා ගැන. ඒක බොහෝ දෙනා ආත්මයක් කියලා ගන්නවා. නමුත් මෙතන කියවෙන්නේ නිත්‍ය ආත්මයක් නොවෙයි. සමහර තර්ක කාරයින් ප්‍රශ්න කරනවා. “මේ බුද්ධ ධර්මය අනාත්ම ධර්මයක් නම්, කොහොමද තමන් කරපු ක්‍රියාවට වග කියන්නේ? වගකීමක් කොහොමද පෙන්නුම් කරන්නේ? ඇයි, මේකේ විපාක විඳින්නේ තමා නොවෙයිනෙ?” ඔය විදියට තර්ක කරලා බේරෙන්න බලනවා. නමුත් මෙතන තිබෙන අදහස මොකක්ද? අවිද්‍යා කඩතුරාවෙන් වැහිලා, තණ්හා බැම්මෙන් බැඳිලා, ලෝක සත්ත්වයා ඇති කරගන්නා චේතනාවල් - මේ පින්වතුන් අහලා තියෙනවා “චේතනාහං භික්ඛවෙ කර්මමං වදාමී” කියන පදය. කොතෙකුත් අහන්ට ලැබිලා ඇති. චේතනාවම කර්මයයි කියලා බුදුපියාණන් වහන්සේ දක්වල තිබෙනවා. එතකොට ඒ චේතනාවට උපකාර වන අවිද්‍යාව - “මමය මාගේය” කියන හැඟීම - තුළින් තමයි, තමා කියන හැඟීම, අදහසක්, එන්නේ. ඒ තමා කියන හැඟීම ඇතිකරගෙන තමාගේ සැප, එහෙම නැත්නම් ආරක්ෂාව, දියුණුව, ලාභ ප්‍රයෝජන ඔය විදියේ දේවල් ගැන හිතලා කරන ක්‍රියාවල විපාක තමාට. කවද හෝ විඳින්ට සිද්ද වෙනවා. මේකට හේතුව මොකද, වේදනාව ඉතාමත්ම ශීඝ්‍රයෙන් සිදුවන දෙයක්. සිතේ ක්‍රියාකාරීත්වය ඉතාමත්ම ශීඝ්රයි. මේක නුහුරට , නුහුරු පැත්තට, යෙදුණොත් මහා විනාශයකට හේතුවන බව අපට හිතාගන්ට පුළුවන්. දැන් වේගයෙන් දුවන වාහනයක රියැදුරෙක් තමන්ට අයිති, අතිනුත් පයිනුත් ක්‍රියා කරන ඇණ පිළිබද නොසැලකිලිමත්කමින් හෝ නිදිමතකින් හෝ ටිකක් හරි සුක්කානම එහෙ මෙහෙ ගිය හැටියේ කොතනද කෙළවර වෙන්නේ? අන්න ඒ වගේ දෙයක් මේ සිත පිළිබදවත්. ඉතාම ශීඝ්‍රයෙන් ක්‍රියා කරන දෙයක්. ලෝකයේ කිසිම දෙයකට සමාන කරන්න බැරි තරම් - “ලහු පරිවත්තං” කියල කියන්නේ - ඉතාම ශීඝ්‍රයෙන් වෙනස් වන දෙයක් මේ සිත. එතකොට එබදු ඒ සිත බුදුපියාණන් වහන්සේ දක්වා වදාළ ඒ න්‍යායයට, ක්‍රමයට, අනුව අධර්මයට අකුසලයට පවට නැඹුරු වුනොත් අන්න ඒ අවස්ථාවේ අර විදියේ බරපතල විපාක දීර්ඝ කාලයක් විඳින්ට සිද්ධ වෙනව. එක ආත්ම භාවයක නොවෙයි - ඒ චේතනාවේ ශක්තිය අනුව - බුදුපියාණන් වහන්සේ දක්වල තියෙනවා ඇතැම් කර්මවල විපාක “දිට්ඨ ධම්ම වේදනීය” වශයෙන් මේ ජීවිතයේදීම විඳින්ට වෙනවා. තවත් කර්මවල විපාක “අපරාපරිය වේදනීය” කියලා මතු කවර හෝ ආත්මභාවවල. ඔය විදියට නොයෙකුත් ආකාරයෙන් කර්මයේ විපාක පිළිබදව සාමාන්‍ය වශයෙන් දක්වල තියෙනවා. නමුත් ගැඹුරින් කල්පනා කරලා බලන කොට කර්ම විෂය අචින්ත්‍යයි කියල බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. එතරම් හයානකයි කර්ම පටලැවිල්ල. එක් එක් ආත්මවල කරන කර්ම රාශිය එකතුවෙලා මේ විඤ්ඤාණයේ තැන්පත් වෙනවා. තැන්පත් වෙලා ඒවා කවද හෝ මතුවෙනවා විපාක වශයෙන්. අන්න එතකොට ඒ විදියේ භයානක තත්ත්වයක් මේ ලෝකයේ තියෙන බවයි අපට මේ කරුණෙන් හිතාගන්ට පුළුවන් වන්නේ..
ඒ වගේම කර්මයත් විපාකයත් අතර ඇති සම්බන්ධතාව අපි නිතර මෙනෙහි කළ යුතුව තිබෙනවා. මොකද දැන් ඔන්න සමහර කෙනෙක් හිතනවා අර කලින් කිව්වා වගේ තමා කරන කර්මයට තමා නෙවෙයි නේද විපාක විඳින්නේ වෙන කෙනෙක් නේද කියලා. ඊළඟ ආත්මභාවයේ සමහර විට දන්නේ නෑ තමා මේක කළ බව නමුත් මේක අපි සාමාන්‍ය උපමාවකට කිව්වොත් දැන් ගලා යන වතුර පාරක එක තැනකට වස විසක් විසක් දැම්මොත් ගහ පහළින් වතුර ගත්තහම ඒ වස විස නිසා තමාට අනතුරක් වෙන්න පුළුවන්. මේ චිත්ත සන්තානයත් ඒ වගේ දෙයක්. චිත්ත සන්තානයට යම්කිසි අකුසලයක් - කිළුටක් - එකතුවුණොත් ඒක දීර්ඝ කාලයක් විපාක වාර වශයෙන් මතුවෙලා තමන්ට විපාක දෙනවා.
දැන් මේ කර්ම විපාකය ගැන අපේ බෞද්ධයින් අතර “කර්ම සරික්ඛතාව” කියල ව්‍යවහාරයක් තියනවා. කර්මයයි විපාකයයි අතර තියෙන සම්බන්ධය බොහෝ දුරට සමාන බවක් - එක්තරා සමාන්තර බවක් - දක්වන්ට පුළුවන්, මේ කථාන්තර දෙකෙන් පෙන්නුම් කරන ආකාරයට. ඒ වගේම දැන් ඒක ගැන අවදිමත් වන බටහිර උගතුන් පවා මේකට අළුත් උපමාවකුත් දක්වනවා, මේ කර්මයේ ක්‍රියාකාරීත්වය පිළිබදව. ඒවා තමන් කරාම එන හැටි. තමා විසින්ම කරන ලද කර්මය තමා කරාම එන හැටි. සමහර විට දක්වනවා සමහර නොදියුණු ගෝත්‍රිකයන් අතර තියෙනවා එක්තරා ආයුධයක් “බූමරෑංගය” කියලා. ඒ බූමරෑංගය සතෙකුට දමා ගැසුවම ඒක ගිහිල්ලා ඒ සතාට වැදිලා ආපහු තමා අතටම එනවා. අන්න ඒ වගේ ආපසු කරකැවිලා එන ස්වභාවයක් මේ කර්මයේ තියෙනවා. මේ කර්මය යම් චිත්ත සන්තානයකින් හටගත්තා නම් ඒ චිත්ත සන්තානය කරාම ආපසු එනවා. ඒක නිසා ආත්මයක් නැත කියලා බේරෙන්ට බෑ. මොකද මේ ස්කන්ධ පරම්පරාව - ආත්මයක් නැතත් - රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ කියන ස්කන්ධ පරම්පරාව නොසිදී පැවැත්මයි සංසාරය කියන්නේ කියන එක අපි දන්නවා. අන්න ඒ ස්කන්ධ පරම්පරාව තුළින් කවදා හෝ ඒ කර්ම නියාමයට අනුව විපාක මතුවෙනවා.
ඔය විදියේ තත්ත්වයක් ලෝකයේ තිබෙන නිසා අපි ඒ ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්ට ඕන. මේ භීෂණ යුගයේ බොහෝ දෙනාගේ කර්මය පිළිබද අවබෝධය, එහෙම නැත්නම් විශ්වාසය, ශ්‍රද්ධාව, තුරන් වෙන ස්වභාවයක් තිබෙනවා. අමතක වෙනවා බොහෝ විට. ඒ තරම් භයානකයි මේ ලෝක තත්ත්වය.
අන්න ඒක නිසා මේ කර්මය පිළිබද නියාමතාව නිතර සිහිගන්වන්ට බුදුපියාණන් වහන්සේ දක්වා වදාළ එක්තරා වටිනා සූත්‍රයක් තිබෙනවා. “ඨාන සූත්‍රය”. ඒ සූත්‍රයේ බුදුපියාණන් වහන්සේ කාරණා 5ක් දක්වනවා. විශේෂයෙන්ම මේ අවසානයේදී දක්වන කාරණාවයි අපි මෙතනදී ගන්නේ. කෙනෙකුට මේ කර්මය ගැන සිහිපත් කරලා, තමන්ගේ හිත දුසිරිතෙන් මැත් කරලා, සුසිරිතට යොමු කරගන්න උපකාර වන විදියට එක්තරා සාධයක් දක්වනවා, “අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං” කියලා නිතර ප්රත්යවේක්ෂා කළ යුතු දෙයක් හැටියට. ගිහි හෝ වේවා. පැවිදි හෝ වේවා. ස්ත්‍රී හෝ වේවා. පුරුෂ හෝ වේවා. ඕනෑම කෙනෙකුන් විසින් නිතිපතා ප්රත්යවේක්ෂා කළ යුතු කාරණයක් හැටියට දක්වනවා මෙන්න මේ පාඨය :-
“කර්මමස්සකෝම්හි කර්මමදායාදෝ කර්මමයොනි කර්මමබන්ධු කර්මම පටිසරණෝ.
යං කර්මමං
කරිස්සාමි කලයාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමීති
අභිණ්හං
පච්චවෙක්ඛිතබ්බං.”
කියලා ඔය විදියට දක්වල තිබෙන්නේ. මෙන්න මේ විදියට කල්පනා කරන්නය. “කර්මමස්සකෝම්හි” කියල කියන්නෙ - අන්න එතනත් ඒ “තමා” කියලා එහෙම නැත්නම් “තමාගේ” කියල ගත හැකි යමක් තියෙනවා නම් ඒක කර්මයමයි. “කර්මමස්සකෝම්හි” කියල කියන්නේ - “සකෝ” කියල කියන්නේ “තමාගේ” කියන එකයි. එතකොට මම කර්මය මගේ කොට ඇත්තෙක්මි කියන එකයි සාමාන්‍ය අදහස. “කර්මම දායාදෝ” - කර්මය මගේ දායාදය වශයෙන් තිබෙන කෙනෙක්මි. “කර්මම යොනි” - මා ඇති වූ තැන, මගේ ප්රභවය, මා ආරම්භ වෙලා තිබෙන්නෙත් මේ කර්මයෙන්. මමය කියල කියන්නෙත් චේතනාවම නේ. මමෙයි කියල ගත්තු එක. අන්න ඒකයි මේ කියන්නේ - “කර්මම යොනි” - කර්මය හටගන්නෙත් “මමය” “තමාය” කියන හැඟීම තුළින්. “කර්මම බන්ධු” - කර්මයමයි මගේ ඤාතිවරයා. කෙනෙකුට පිහිට හැටියට තියෙන්නෙත් මේ කර්මයයි කර්මම බන්ධු. “කර්මම පටිසරණෝ” මට පිළිසරණ වශයෙන් පිහිට වශයෙන් තියෙන්නෙත් මේ කර්මයමයි. “යං කර්මමං කරිස්සාමි කලයාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමී” හොඳ හෝ නරක හෝ යම් කර්මයක් මම කරන්නෙම්ද, එහි දායාද කරුවෙක් වන්නෙමි. කියන මෙන්න මේ කාරණය නිතිපතා ගිහි හෝ පැවිදි හෝ ස්ත්‍රී හෝ පුරුෂ හෝ හැම කෙනෙකුන් විසින්ම නිතර ප්රත්යවේක්ෂා කටයුතුයි කියලා දක්වල තිබෙනවා.
එතකොට එහි ප්‍රතිඵලය හැටියට, ආනිසංසය හැටියට, දක්වල තිබෙන්නේ - ඒ විදියට නිතර මෙනෙහි කරන පුද්ගලයා තුළ ඇති කාය දුශ්චරිත, වචී දුශ්චරිත, මනෝ දුශ්චරිත වශයෙන් තිබෙන, කයෙන්, වචනයෙන්, සිතින් කෙරෙන දුසිරිත් - ඒවා එක්කෝ සම්පූර්ණයෙන්ම නැති භංග වෙලා යනවා. එහෙම නැත්තම් ඒවා තුනී වෙලා යනවා. ඒ කියන්නේ ඒ දුසිරිතෙන් වැළකෙන්ට ඉතාමත්ම හොඳ උපක්‍රමය නිතිපතා තමන්ගේ හිතට මේ කර්මය පිළිබද ධර්මතාව යොද ගැනීමයි. “මගේ” කියල තිබෙන්නේ කර්මයයි. ඒ විදියට හිතන කොට අර හදිසි අදහසකින්, එහෙම නැත්තම් ඉක්මන් වීමකින්, සමාජයේ නොයෙකුත් ඉක්මන් අවස්ථාවල ඒ “මමෙයි” කියල ගන්න දේවල් නොවෙයි බුදුපියාණන් වහන්සේ පෙන්නුම් කරලා තියෙන්නේ. තමාගේම සිත් තුළින් ඇති කරගන්න කර්ම වේගයයි අන්තිමට තමාට ඉතිරි වන්නේ. තමාට සැප හෝ දුක ගෙන දෙන්නේ කියන අන්න ඒ කාරණයයි.
අන්න ඒක අනුව අපි කල්පනා කරන්න ඕන, මේ කර්ම පටලැවිල්ලේ ඇති හයානකත්වය බුදුපියාණන් වහන්සේ බොහෝ අවස්ථාවල දක්වල තියෙනවා මෙන්න මේ විදියට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කර්මයක විපාකයක් විඳින කොට අපට අවබෝධ වෙන්නේ නෑ මේක කර්ම විපාකයක්ය කියල, බුදු ඇසට පෙනී ගියත්. ඉතින් හිතන්නේ මේක අනිත් අය කරන දෙයක් කියල. අර මහාකාල උපාසක මහත්මයාත් සමහර විට, අපිට එතන විස්තර කියල නෑ - උපාසක මහත්මයෙක් නිසා සමහර විට හිත හදාගන්න උත්සාහ කරන්න ඇති - නමුත් අර විදියට අර ගෙහිමියන් ඇවිල්ල මරණ කොට “අනේ නිරපරාදෙ මා මරනවා” කියල සමහර විට ද්වේෂයක් ඇතිකර ගන්න ඇති. තමා නීරපරාධී කියල මහාකාල උපාසක මහත්මයාත් කල්පනා කරන්න ඇත්තෙ . ඒ විදියේ අකුසල සිතිවිල්ලක් උනත් ඇති කරගන්ට ඉඩ තියෙනවා. නමුත් මේක ගැඹුරින් කල්පනා කරනවා නම් අර විදියට - අර පාඨය අනුව - කෙනෙකුට කොයියම් ආකාරයකින් විපතක් පැමිණියත් සතුරු උපද්‍රවයක් ආවත් හිතන්න තියෙන්නේ, “මේක මම කරගත්තු එකක්”. දැන් අර මහාකාල උපාසක මහත්මයගේ වධකයා කවුද? තමන්මයි. ධර්මනුකුලව කල්පනා කරලා බලනවා නම් ධර්මයේ දක්වෙන කාරණා අනුව, හැම කෙනෙකුගේම මරණයට හේතුවන්නේ අතීතයේ තමාම කළ ප්‍රාණඝාත අකුසලයක්මයි. අන්න එහෙමයි කල්පනා කරන්න තියෙන්නේ. හැම කෙනෙකුගේම මරණයට ආසන්න හේතුව, මරණයට හේතුව-මරණ අවස්ථාවේ සිත නෙවෙයි මෙතන කියන්නේ - මරණයට හේතුව වෙන්නේ තමා විසින්ම අතීතයේ කළ ප්රාණසාත අකුසලයක්. දැන් මේක පැහැදිලි වෙනවනෙ මෙතන. මේ මහාකාල උපාසක මහත්මයගේ මරණය සිද්දවුනේ තමාම කළ ප්රාණසාතයකින්. තමාමයි වධකයා. එතකොට අනුත් තෙවෙයි. තමන්මයි වධකයා.
අන්න ඒ විදියට කල්පනා කරන්න පුරුදු වුනොත් අපිට අර විදියෙ අවස්ථාවල සිත පහසුවෙන්ම උපේක්ෂාවට ගන්ට පුළුවන්, බුද්ධ වචනය අනුව. තමන්ට ප්රත්යක්ෂ නැති වෙන්ට පුළුවන්. අභිඥා ආදී ඒ ශක්තීන් අප තුළ නැති නිසා අපිට පේන්නේ නෑ මේ මේ කර්මය නිසා මේ මේ දේවල් මට සිද්ද වෙනවා කියල. නමුත් පොදු ධර්මතාවයක් හැටියට අපි මෙනෙහි කරන්න පුරුදු වුනොත් - බුද්ධ වචනය සත්‍යයි. ඒ විදියට බුදුපියාණන් වහන්සේ මේක ප්‍රකාශ කරල තිබෙනවා. මේ කර්මයමයි මගේ දායාදය. කර්මයමයි නෑයා. නෑයා හෝ සතුරා හෝ. ඉතින් මෙතන කල්පනා කරන්න තියෙන්නේ කුශලකර්මයයි. තමන්ගේ නෑයා වෙන්නේ. අකුශල කර්මය තමන්ගේ සතුරා. එකත් බුදුපියාණන් වහන්සේ දක්වල තියෙනවා. කර්මය පිළිබදව කියන කොට.
චරන්ති බාලා දුම්මේධා
අමිත්තෙනෙව අත්තනා
කරොන්තා පාපකං කර්මමං
යං
හොති කටුකප්ඵලං
කියල බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. මෝඩ, අඥාන පුද්ගලයින් හැසිරෙනවයි, තමන්ටම තමන් සතුරු වෙමින්. කර්මයේ සතුරන් හැටියට හැසිරෙනවය. “අමිත්තෙනෙව අත්තනා” - තමන්ටම සතුරන්වගේ වෙමින් හැසිරෙනවය. මොකද, “කරොන්තා පාපකං කර්මමං-යං හොති කටුකප්ඵලං” - කටුක විපාක ගෙන දෙන පාප කර්මයන් කරමින් මේ මෝඩ පුද්ගලයින් තමන්ට තමන් සතුරන් හැටියට ජීවත් වෙනවය. අන්න එතකොට මේ කර්‍මබන්‍ධු කියල කියන්නේ නෑයා තමයි. නමුත් සතුරන් වෙන්ට පුළුවන් අර විදියට කල්පනා කළොත් - අකුසල් හැටියට.
අන්න ඒකනිසා අපට අපට වෙන සිදුවීම් හැම එකක් තුළම මේ කියාපු කර්ම නියාමතාව - කර්ම ධර්මතාව - ගැබ් වෙලා තියනවා කියලා කල්පනා කිරීම බොහෝ විට අර හදිසි දේවල් ඉක්මන් වීම්, කෝපවීම්, ඒවා යටපත් කරගන්න අපට උපකාර වෙනවා - බුද්ධ වචනය අනුව. අන්න ඒක ප්‍රායෝගික වශයෙන් නිතර කල්පනා කළ යුත්තක්.
ඉතින් ඒ විදියටම දැන් මේ කථාන්තරය ආශ්රයෙන් අපිට තවත් වැදගත් කාරණයක් හෙළිවෙනවා. පංචශීලයේ වැදගත් කම. බුදුපියාණන් වහන්සේ දේශනා කළ මේ පංචශීලය සුළුපටු දෙයක් නොවෙයි. මේ ශීලය තුළ මේ දීර්ඝ සංසාරයේ සත්ත්වයාගේ සිත අකුසලයට තැඹුරු වී ඇති අවස්ථා සියල්ලම අඩංගු වෙනවා කෙටියෙන් - සරල වශයෙන්. අප විසින් කරන ලද අකුසල කර්ම පොදුවේ ගත්තම කොයියම් ආකාරයකින් හෝ එක්කො පළමුවෙනි ශික්ෂාපදයට - ප්රාණසාත අකුසලයට - අහුවෙනවා. එක්කො අදින්නාදානයට, එහෙම නැත්නම් කාමමිථ්‍යාචාරයට. එහෙම නැත්නම් මුසාවාදයට, සුරාපානයට - ප්‍රධාන වශයෙන්. තව ඕවායේ අතු ඉති කියන්න පුළුවන්. නමුත් මෙන්න මේවයි ප්‍රධාන හැටියට සලකන්ට පුළුවන්. එකකොට අතීතයේ ඒ සංසාරයේ අප විසින් කරන ලද පස්පවට අදල පාපකර්ම වල විපාකයි අපි එදිනෙදා නොයෙකුත් ආකාරයෙන් විඳින්නේ. අර කියාපු විදියට මරණය පමණක් නොවෙයි. ලෙඩරෝග, නොයෙකුත් ව්‍යසන, ඊළඟට ධනධාන්‍ය විනාශවීම්, ඒ විදියේ ඒදිනෙදා පැමිණෙන නොයෙකුත් උපද්‍රව මේ හැම එකකටම හේතුව අතීතයේ තමන් විසින්ම කරනලද භයානක අකුසල්මයි. එතකොට එපමණක් තොවෙයි මේ කර්මයේ තියෙන හයානකත්වය. අර දැන් කිව්වා වගේ කර්මයේ ඇති යථා තත්ත්වය නොදැනීම නිසා කර්ම නුල් බෝලය තමන් පටලවා ගන්නවා. ඇත්ත වශයෙන්ම බුදුපියාණන් වහන්සේ මේ සංසාරය සමාන කරලා කියනවා අවුල් වූ නූල් බෝලයකට. මේක අවුල් වූ නූල් බෝලයක් වෙන්නේ කොහොමද? අපට අප කරන ලද කර්මය අනුව යම්කිසි විපාකයක් එනවා. ඒ විපාක එන අවස්ථාවේ අපි දන්නේ නෑ මේක කොහොමද වුනේ කියලා. අපි ඒක අවුල් කරගන්නවා. අවුල් කරගන්නේ ඒක තුළින් තවත් කර්ම ඇති කරගැනීමෙන්. ඒ තමන්ට විපාක දෙන්න උපකාර වුනු පුද්ගලයන් පිළිබදව ද්වේෂය ඇති කරගෙන - එපමණක් නොවෙයි තවත් ඒක නිසා ඇතිවුන නොයෙකුත් විදියේ කෙලෙස්වලට යටවෙලා කර්මය පටලවා ගන්නවා. තව තවත් කර්ම රැස්කරගන්නවා. ඉතින් අන්න ඒ විදියේ භයානක තත්ත්වයක් තියෙනවා කර්ම පටලැවිල්ලේ. තමා විතරක් නෙවෙයි ඒ පටලැවිල්ලට අහුවෙන්නේ. කර්මයක් කරන කොටත්, ඒකේ විපාක විඳිනකොටත්, ඒකට එකතු වන තවත් පිරිසක් ඉන්නවා. ඒකට අනුමෝදන් වන පිරිසකුත් ඉන්නවා. දැන් අපි දන්නවා දානයක් දීලා, එහෙම නැත්තම් වෙන වටිනා පින්කමක් කරලා, අපි පින් අනුමෝදන් කරනවා අනිත් අයට. ඒ අවස්ථාවේ ඉඩකඩ තිබෙනවා අනිත් අයට ඒ කුසලය අනුමෝදන් වෙලා දුගතියට යන්නේ නැති විදියට සුගතියම යම්කිසි කුසලයක් ඇතිකරගන්න. ඒ හොඳ පැත්ත. අනුමෝදනා කියන වචනය අපි සාමාන්‍යයෙන් යොදන්නේ කුසල් පිළිබදවයි. නමුත් පින්වතුනි, අපිට කොතෙකුත් සමාජයේ දකින්ට ලැබෙනවා අකුසලුත් අනුමෝදන් වෙන අවස්ථාවල් තිබෙනවා.
දැන් විශේෂයෙන්ම මේ යුගයේ මේ පින්වතුන් දන්නවා හොදට. තමන්ගේ හිතවතුන්ට අනියම් ආකාරයෙන් හෝ යම්කිසි ලාභයක් සිද්ද වෙන කොට ඔන්න ඒ ගැන සතුටු වෙනවා. ඒක අකුසලයක් නම්, වැරදි විදියට නම්, ඒ පුද්ගලයා ඒ කටයුත්ත කරගත්තේ එතනදි අපිත් කරන්නේ ඒ අකුසලය අනුමෝදන් වීමක්. එහෙමත් නැත්තම් විශේෂයෙන්ම යම්කිසි බරපතල දෙයක් - අපි හිතමු - මිථ්‍යාදෘෂ්ටිය. හොරකම් කිරීම්, තව නොයෙකුත් දූෂණ ආදී කටයුතු තමන්ගේ හිතවතෙක් කරල තිබුණොත්, එක්කෝ තමන් කය වචනයෙන් ඒකට උදව් වෙනවා. එහෙම නැත්තම් හිතෙන් සතුටු වෙනවා. “අනේ බොහොම හොදයි”. වෙන එකක් කියා තමන්ගෙ සතුරෙක් මැරුණොත් “සාදු” “සාදු” කියල ඒකත් අනුමෝදන් වෙන සිරිතකුත් සත්ත්වයා තුළ තිබෙනවා. ඒ තරමට මුළාවෙලා. එයින් කරන්නේ මොකක්ද? අර අහක යන - එහෙම නැත්තම් තමන්ට අයිති නැති - දෙයක් තමන්ගෙ ඇගේ දාගෙන තමන් ඒ අකුසලයේ බැදෙනවා. එතකොට මේ “අනුමෝදනා” කියන වචනය කුසල් පිළිබදව යෙදුනට මොකද, අපි නොදැනුවත්වම අකුසලුත් අනුමෝදන් වෙනවා. ඒක වෙන්නේ අන්න අර අවිද්‍යාව නිසා. අර අනුමෝදනාව කියන එකත් කර්මයක්. අනිත් කෙනෙක් කළා වුනත් තමන් සිතෙන් සතුටු වෙන කොට තමන්ගෙත් වේදනාව එයින් කිලිටි වෙනවා. ඒ තුළින් තමනුත් අකුසලයක් රැස්කරගන්නවා. අන්න ඒ විදියේ අවස්ථාවලින් පරිස්සම් විය යුතුව තිබෙනවා.
එතකොට දැන් ලෝකයේ නොයෙකුත් විදියේ පක්ෂ තියනවා. නමුත් සනාතන වශයෙන් ලෝකයේ තිබෙන පක්ෂ දෙකක් ධර්මයේ සඳහන් වෙනවා. සුර-අසුර කියලා. ඒ පක්ෂ දෙක අතර කවදත් සටනක් තිබෙනවා. බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා යම් කාලයක තථාගතයන් වහන්සේලා ලෝකයේ පහළවෙද්ද ඒ කාලයේ සුරයින්ගේ - ඒ කියන්නේ දෙවියන්ගේ - පක්ෂය තර වෙනවය - අසුර කියල කියන යක්ෂයන්ගේ පක්ෂය හීන වෙනවය - දුබල වෙනවය, ඒ පිරිස අඩු වෙනවය කියල. එහි තේරුම මොකක්ද, සත්ත්වයා කුසලට නැඹුරු වෙනකොට වැඩියෙන් දෙවිවරුන් ලෝකයේ පහළවෙන්නේ. ඊළඟට අකුසලයට නැඹුරුවෙන්න නැඹුරුවෙන්න, අර යක්ෂ - ප්‍රේතාදී පහත් ලෝකවල උපදින අය වැඩිවෙනවා. ඔන්න ඔය විදියේ තරඟයක් ලෝකයේ තිබෙනවා. මේකයි කළු - සුදු වශයෙන් දක්වන්න පුළුවන්. ධර්මය වශයෙන් කල්පනා කරල බලන කොට කුසල් - අකුසල් අතර තරඟය සුදු - කළු කියල ගන්නත් පුළුවන් - සුදු පක්ෂය කුසල්, කළු පක්ෂය අකුසල්. ඔන්න ඔය පක්ෂ දෙක තමයි සනාතන වශයෙන් ලෝකයේ පවතින්නේ. අනිකුත් ඔය අපි හිතන පක්ෂ නොවෙයි. අන්න ඒක නිසා අපි කල්පනා කරන්න ඕන අපි මොන පක්ෂයටද අයිති කියල. මොන පක්ෂයටද ඡන්දය දෙන්නේ කියලා. කළු පක්ෂයටද සුදු පක්ෂයටද කියලා. සුදු පක්ෂයට දෙන ජන්දයට කියනවා කුසලච්ඡන්දය කියලා ධර්මයේ - කුසලච්ඡන්දය. කුසලයට ඡන්දය දෙනවා. ඡන්දයේ නරක පැත්තකුත් තියෙනවා. ඒකට ඡන්දරාග කියල කියනවා. අන්න අකුසලය පැත්තට යනවා. ඡන්දරාග කියන ඒ රාගයට නැඹුරු වන විදියේ ඇල්ම ඇති කර ගත්තොත් ඒක නරකට යනවා. කුසලච්ඡන්දය හොඳ දෙයක්. මොකද, ඒක නිවනින් කෙළවර වන යම්කිසි වැදගත් ඕනෑකමක්, එහෙම නැත්තම් ධර්මයට කැමැත්තක්. ඔන්න ඔය විදියේ බලවේග දෙකක් ලෝකයේ තිබෙන බව අපි කල්පනා කරන්න ඕන. ඒ විදියට තම තමන්ගේ ජීවිතය හරියාකාරව සකස් කරගත්තෙ නැත්තම් මේ බුදුපියාණන් වහන්සේගේ ධර්මයට අනුව, අපි මේ යන ගමන මොන ප්‍රපාතයකින් කෙළවර වෙනවද කියල කියන්න බෑ. අන්න ඒ විදියේ තත්ත්වයක් තිබෙන්නෙ.
ඒ නිසා විශේෂයෙන්ම ශීල සමාදනය ගැන කල්පනා කරන්න ඕන. දැන් මේ අවස්ථාවෙත් ආජීව අෂ්ටමක ශීලය. ඒ වගේම පොහොය අටසිල්. ඇතැම් කෙනෙක් දසසිල්. ඔය විදියට මේ ශීලයක් සමාදන් වුනා. මේකෙ වටිනාකම ගැන හිතල බලන්ට ඕන. කොයි තරම් වටිනා දෙයක්ද මේ බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙන්නේ ශීලය හැටියට. මේ ධර්ම මාර්ගයේ ශීලය කියන එක මුල් පියවර පමණයි. නමුත් ඒක තුළත් තියෙන්නේ කොයි තරම් වටිනා දෙයක්ද? මේ කය, වචනය හික්මවා ගැනීමත් ක්‍රමානුකූලව කළ යුත්තක්.
ශීලය කියල කියන්නේ “හීලෑකම”. අපි සිංහල කරල ගත්තොත්, හිංගල කරල ගත්තොත්, ශීලය කියල කියන්තෙ හීලෑකම. මේ හීලෑකමේ අගය අපට පේනවා හික්මවා ගත්තු ඇතෙකුගේ චර්යාව දිහා බලනකොට. ඒ ඇත්ගොව්වා අර තරම් විශාල සතෙකුගේ පිට නැගලා ඌට කියල යම් යම් වැඩ කරවගන්නවා. ඒ වගේම වේගයෙන් දුවන අශ්වයෙකුගේ පිටනැගල, හීලෑ කරගෙන, ඒ විදියට කටයුතු කරනවා. ඒ විදියට තිරිසන් සතෙක් පවා ක්‍රමානුකූලව හීලෑ කරගත්තම කොයි තරම් පුදුම විදියේ වැඩ කරවාගන්ට පුළුවන්ද? තමන්ට එයින් ප්‍රයෝජනයක් ගන්ට පුළුවන්ද?
ඒ විදියට බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කළ මේ ශීලය අනුව අපි කය, වචනය හික්මවා ගත්තොත් - ඊළඟට ඒ තුළ තිබෙන්නෙ කය, වචනය පමණක් තොවෙයි. යන්ත්‍ර නොවෙයි මේ අපේ ශරීර. මේ, කය, වචනය කියන දේවල් ක්‍රියාත්මක කරන්න උපකාර වන්නේ “මනො පුබ්බංගමා ධම්මා” කියන ඒ පදයට අනුව සිතයි. මේකට මූලික හේතුව වෙන්නේ සිතයි. ඇත්ත වශයෙන්ම මේ ශීලය තුල තිබෙන්නේත් - මේක සංඝයා වහන්සේලා ප්‍රකාශ කරන ආකාරයට, - අර කතාව කියන්නේ “ගමරාළ සිල් සමාදන් වුනා වගේ” - එහෙම ශික්ෂාපද කීමක් නොවෙයි තේරුමක් නැතුව. හිතට දාගන්න ඕන. සමහර විට අපි ඒක චාරිත්‍රානුකූලව, වඩා ගෞරවයක් ඇති වෙන්න පාලියෙන් කිව්වට මොකද, ඒහි අදහස තේරුම් ගන්න ඕන. සතුන් මැරීම පිළිබද මේ ශික්ෂාපදය, එහෙම නැත්තම් සතුන් මැරීමෙන් වෙන්වීම - වේරමණී කියල කියන්නේ වෙන්වීම - මෙතන “වේරමණි” කියල කියන්නෙ , “විරතිය” කියල කියන්තෙ, වෙන්වීම. එකයි අමාරුව. කිරීමයි පහසුව. වෙන්වීමයි අපහසු. ඒ වෙන්වීම පිළිබද ශික්ෂාපදය, ඒ හික්මීම පිළිබද නීතිය, “මම පිළිඅරගෙන සමාදන් වෙනවා” කියල කියන්නෙ. මම අරගෙන - කවුරුවත් කිව්වට නොවෙයි ස්වේච්ඡාවෙන් - ඒක රැකීම කියල ඒ විදියට යම්කිසි අධිෂ්ඨානයක් සිතේ තැන්පත් කරගැනීමයි. තමන්ගේ නුවණට අණ කිරීමක් වගෙයි. මේ අපේ ක්‍රියාකාරීත්වය - සාමාන්‍යයෙන් හිතුමතේට කෙරෙන දේවල් තියෙනවා. නුවණින් කල්පනා කරල කරන දේවල් තියෙනවා. මේ දෙක අතර ලොකු වෙනසක් තියෙනවා. අප එක් එක්කෙනා තුළ තියෙනවා යම්කිසි ශක්තියක්, “නුවණ” කියල දෙයක් - සිහි නුවණ කියල කියන්නෙ - කල්පනාකාරීව යමක් කරන්න පුළුවන්කම තියෙනවා. නමුත් ඒක මතු කරගත යුත්තක් -උත්සාහයෙන්. මොකද? සංසාරයේ ස්වභාවය පහළට ගලායන දිය දහර වගේ අකුසලයට යාමයි. ඒක නිසා ඒක යටපත් වෙලයි තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් ක්‍රියාකරන්නේ සිතැඟි අනුව, සිතට අනුව, ඒ හිත කියලා උඩින් තියෙන හිත බොහෝවිට අකුසලයට නැඹුරුයි. නමුත් නුවණ කියන එකක්, යම්කිසි ශක්තියක්, ප්‍රඥාවක් අප තුළ තියෙනවා. වැටහීමක් අප තුළ තියෙනවා. ඒ අදහසම තමයි ප්රත්යවේක්ෂා කියල කියන්නේ.
ප්රත්යවේක්ෂා කියන වචනය ගැඹුරින් කල්පනා කරල බැලුවොත් - දැන් කෙනෙක් කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ල තමන් දිහා බලන්නා වගේ දෙයක්. යමක් පිළිබදව නැවතිල්ලෙ හිතල බලන එක. ගමනක් යන්න සූදානම් වෙලා මඟුල් තුලා ආදියට යන්න සූදානම් වෙලා, තමන් සැරසිලා අඩුපාඩුවක් තිබෙනවාද, ඒ ආභරණය හරි තැනද දාගත්තේ කියල ඒ විදියට බලන්නෙ අර කණ්ණාඩිය ඉස්සරහට ගිහිල්ල. ඒ වගේම අපේ සිත් තුළ තිබෙනවා නැවත සලකා බැලීමේ ශක්තියක්. නැවත ආවර්ජනා කර බැලීමේ ශක්තියක්. විශේෂයෙන් “මේක මෙහෙමද” කියල අපිට නැවතිල්ලේ කල්පනා කරන්න පුළුවන්කමක් තිබෙනවා. අන්න ඒකයි මේ ප්රත්යවේක්ෂා කියලා කියන්නේ. බුදුපියාණන් වහන්සේ පවා කන්නාඩියේ උපමාවෙන් දක්වලා තිබෙන්නේ හිතල බලන්නය මේක කොහොමද කියල.
කුසල් - අකුසල් කියන එක කෙටියෙන් බුදුපියාණන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේට විග්‍රහකරල දීල තියෙන්නෙ - අකුසල කියල කියන්නේ තමාගේ පිරිහානියටත්, අනුන්ගේ පිරිහානියටත්, හේතුවන, සිතින්, කයින්, හෝ වචනයෙන් කෙරෙන යම්කිසි ක්‍රියාවල්. එතකොට අන්න ඒ විදියට හිතාගත්තම මේක මේ කෙටි කාලීන අදහසක් නෙවෙයි බුදුපියාණන් වහන්සේ දක්වන්නෙ. සමහර විට හිතන්න පුළුවන් මට මේ වෙලාවෙ ලාභයක් ලැබෙනව කියල. නමුත් මෙතන කර්මානුරූපව කල්පනා කරලා බලනකොට එහෙම කෙටි කාලීන හැඟීමක් නෙවෙයි ගන්න තියෙන්නෙ.
දැන් යම්කිසි කෙනෙක් හොරකමක් ආදී දෙයක් කරන්න පුළුවන් මට මෙයින් ප්‍රයෝජන වෙනවා කියල. ඉන් හැබැයි අනුන්ට අයහපතක් සිද්දවෙන්නෙ. එපමණක් නොවෙයි. තමන්ගෙ සිත කිලිටි වෙනවා. ඔන්න ඔය විදියට නුවණින් කල්පනා කරන්න ඕන. එහෙම කල්පනා කරන්න ශක්තියක් අප තුළ තිබෙනවා. ප්රත්යවේක්ෂාව කියල. ඒක ඉදිරිපත් කරගන්ට ඕන. එවගේම අර නුවණ, යම්කිසි අධිෂ්ඨාන ශක්තියක් හිතට දමල, ළඟට ඒත් එක්කම යන එකක් තමයි ආවර්ජනාව කියන එක. ශීල ආවර්ජනාව.
ආවර්ජනාව කියල කියන්නේ නැවත සළකල බලනවා තමන්ගේ ශීලය - මං මේ විදියේ ශීලයක් සමාදන් වුණා. මේ ශීලයට ගැලපෙන ආකාරයටද මේ පැවැත්ම කියලා - දැන් මේ අවස්ථාවේ නම් තමන් ශීලයක් සමාදන් වෙලා බව මතක් වෙන්ට ඇදුම් පැළදුම් පිළිබදවත් - සමහර කෙනෙක් වෙනසක් කර ගන්නවා. මේ කොයි එකෙනුත් කරන්නේ තමන් ශීලයක් උඩ ඉන්නවා කියත එක අඳුන්නල දීමයි. ඊළඟට ඒක හිතට නඟාගෙන ඒ පැවැත්මට අනුරූප විදියට ජීවත්වෙන්ට උත්සාහ කරනවා. ඒක තුළින් තමයි කෙනෙකුට හිත හික්මවා ගන්ට පුළුවන් වෙන්තේ. ඉස්සෙල්ලම කය වචනය හික්මවා ගන්නවා. ඒක තුළිනුත් විශාල සැපයක් තමන් එදිනෙදා ජීවිතයේදී ලබන බව බුදුපියාණන් වහන්සේ දක්වල තිබෙනවා.
ඒකට කියනවා. අනවජ්ජ සුඛය කියල. නිරවද්‍ය භාවය. වැරද්දක් නැතිව අපි ජීවත් වෙනවා කියන ඒ සැනසිල්ල. දැන් අද කී දෙනෙක් පසුතැවිල්ලෙන් යුක්තව ගතකරනවාද? ශීලයේ ආනිසංස පසුතැවිලි වලින් තොරව - විපිළිසර බව කියල කියන පසුතැවිලිවලින් තොරව - එදිනෙදා ධර්මය සැනසීමකින් යුක්තව ජීවත් වීමයි. අර අකුසල කරන පුද්ගලයට එදිනෙදා ඒ ජීවිතයේ කටයුතු කරන අවස්ථා වල හිතට නාවත්, සමහර විට තමන් නින්දට යන වේලාවට ඔන්න මතක් වෙනවා. මං මේ විදියේ දේවල් කරලා තිබෙනවා නේද කියල. විශේෂයෙන්ම වයස්ගත අවස්ථාවේ. එහෙම නැත්තම් මැරෙන අවස්ථාවේ. අර අකුසලයක් හිතට එනව. මැරෙන අවස්ථාවේ, බරපතල අකුසලයක් හිතට ආවොත් කෙළින්ම යන්තේ දුගතියටයි. ඔන්න ඔය විදියේ භයානක තත්ත්වයක් සංසාරේ තිබෙනවා. මේක නිසා තමයි බුදුපියාණන් වහන්සේ අවසාන වශයෙන් ප්‍රකාශ කරන්නෙ මේ මුළ මහත් සංසාරයෙන් මිදෙන්න කියලා. සංසාරයෙන් මිදෙනවා කියල කියන්නෙ අන්න අර කියාපු කර්ම පටලැවිල්ලෙන් සම්පූර්ණයෙන් බේරෙන එකයි. එසේ මෙසේ ක්‍රමයකින් එකෙන් බේරෙන්න බෑ. එක මහ පුදුම විදියේ අවුල්වූ නූල් බෝලයක් වගේ දෙයක්. එකමයි මේ කර්ම පටලැවිල්ලෙන් බේරීම - එහෙම නැත්තම් සංසාරයෙන් බේරීම - සදහා බුදු කෙනෙක් අවශ්‍ය වන්නෙ.
බුදු කෙනෙක් කියල කියන්තේ තමන් බේරුන වගේම අනිත් අයටත් බේරෙන්ට උපකාර වන ධර්මය සත්ත්වයාට පැහැදිලි කර දෙන කෙනෙකුයි. ඉතින් ඒ ක්‍රමය තමයි ලෝකෝත්තර විමුක්තිය. බුදුපියාණන් වහන්සේලා මේ දක්වන ලොවුතුරු විමුක්තිය - ලෝකයෙන් එතෙරවීම. ඒක තුළිනුයි මේ කර්ම පටලැවිල්ල බේරගන්න පුළුවන් වන්නේ. මේ හැම එකකටම මූලික හේතුව හැටියට දක්වනවා සංස්කාර. මේ සංස්කාර නිසායි ඒවා සිද්ධ වෙන්නෙ කියලා. මේ පින්වතුනුත් ඇතැම් කෙනෙක් අහල ඇති අවිද්‍යාව නිසා සංස්කාර ඇතිවෙනවයි කියල. ඉතින් අර කියාපු “මමය” “මගේය” කියාපු ඒ “තමාය” කියල ගත්තු හැඟීම නිසා - නොයෙකුත් විදියේ සිත - ඇතුලේ - සකස්වීම් රාශියක් සිද්ධ වෙනවා. කෙටියෙන් හඳුන්වතොත් චේතනාව කියල ගන්නත් පුළුවන්. චේතනාව, ප්‍රාර්ථනාව, බලාපොරොත්තුව කියල ඇතිවන යම්කිසි සිතිවිලි පරම්පරාවක්. සිතේ ක්රියාකාරීත්වයක් තිබෙනවා. ඒ ක්‍රියාකාරීත්වය අන්න අර කියාපු විදියේ මහා නූල් බෝල පටලැවිල්ලක් වගේ තත්ත්වයකට සංසාරයේ අපව ගෙනයනවා. දීර්ඝ කාලයක් අපව ජීවත් කරවන්නෙ අප කරන ලද ඒ කුසලාකුසල කර්මයි.
එතකොට මෙයින් බේරෙන්න නම් මෙතන මේ කියන චේතනා ශක්තිය, මේ කර්ම ශක්තිය. එහෙම නැත්තම් මේ සංස්කාර වේගය, සංසිඳවන්ට ඕන. සමනය කරන්න ඕන. නිවන්ට ඕන. අන්න ඒ විදියේ දෙයක් බුදුපියාණන් වහන්සේලා දක්වන්නේ, ලෝකෝත්තර විමුක්තිය හැටියට. මාඟී එල ප්‍රතිවේධයෙන්, මාර්ග ඥානවලින්, සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් කියල මාර්ග හතරක් තුළින් මේ මුළු මහත් සංසාර ගැටළුව - මේ කර්ම පටලැවිල්ල - බුදුපියාණන් වහන්සේලා විසඳනවා. එතකොට කෙටියෙන් සලකා ගත්තොත් මෙන්න මෙහෙම හිතාගන්න පුළුවන්.
මේ කවුරුත් අහල කියනවා සෝවාන් වුන කෙනෙක් - ඒ කියන්තේ අර විදියට ශීලය පදනම් කරගෙන, සමාධියෙන් සිත තැන්පත් කරගෙන, ප්‍රඥාව කියල කියන චතුරාර්ය සත්‍යය - ලෝකයේ පැවැත්ම දුකක්. මේකට හේතුව තණ්හාවයි. මේ තණ්හාව සංසිඳීමමයි නිවන. ඒකට මාර්ගය වන්නේ ආර්ය අෂ්ටාංශික මාර්ගයයි - අන්න ඒ විදියට ඒ හතර කාරණය තමන් ප්රත්යක්ෂ කරගන්න ඕන එක්තරා මට්ටමකින්. වෙනත් විදියකින් කියනවා නම් මේ මුළු මහත් පැවැත්මේ ඇති අනිත්‍ය දුඃඛ අනාත්ම කියන ත්රිලක්ෂණය අවබෝධ කරගන්න ඕන. ඒ විදියට අවබෝධ කරගෙන මේ සංසාර පැවැත්ම පිළිබද නොඇල්මක්, එපාකමක්, හිතේ ඇතිවෙන්ට ඕන. මේක පිලිබඳ එපාකමක් ඇතිවන තාක් මේ සංසාරයෙන් බේරෙන්නට බෑ. එක මේ එදිනෙදා ජීවිතයේ තොයෙකුත් අර විදියේ උපද්‍රව , ව්‍යසන ආවම හැම කෙනෙකුටම මොහොතකට හිතේ ඇතිවෙනවා අපොයි මේ සංසාර පැවැත්මේ කිසි සාරයක් නැහැයි කියල. නමුත් අර භයානක අන්දමින් අවිද්‍යාව, තණ්හාව, හිතේ බලපවත්වන නිසා, ඒක අමතක වෙලා යනවා. අන්න ඒ විදියේ තත්ත්වයක් තිබෙනවා. ඉතින් බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ ක්‍රමානුකූලව අර විදියට ශීලය, සමාධිය, ප්‍රඥාව වඩල, හරියාකාරව නුවණින් මෙනෙහි කිරීම තුළින් ප්‍රඥාව වඩල, ඊළඟට යම්කිසි අවස්ථාවක සිත සෝවාන් තත්ත්වයට පැමිණියා නම්, ඒ මාර්ග ඥානයෙන් මොකද්ද වෙන්නෙ - අර සංසාර පැවැත්මේ තව ආත්මභාව 7 කට පමණක් සීමා කරලා, එපමණක් ඉතුරු කරල, අනිකුත් සියල්ම කර්ම ශක්තීන් විනාශ කරල දමනවා. විශේෂයෙන්ම අපායගාමී කර්ම නැතිවීම. අන්න ඒක නිසා තමයි සෝවාන් කියල කියන ඒ ප්‍රථම මාර්ග ඥානයෙන් ලැබෙන විමුක්තිය පවා බුදුපියාණන් වහන්සේ චක්‍රවර්ති රාජ්‍යයටත් වඩා උතුම් කියල ප්‍රකාශ කරල තිබෙන්නේ. ඒ විදියට කල්පනා කරන්න ඕන. එතකොට ඒ පළවෙනි මට්ටම.
ඊළඟට දෙවෙනි මට්ටම හැටියට දක්වනවා සකදාගාමී තත්ත්වය. සකදාගාමී කියල කියන්තේ ඒ පුද්ගලයාගේ ප්‍රඥාව දැන් දෙවැනි මට්ටමේදී නැවත එක් වරක් දිව්‍ය ලෝකයෙත් එක් වරක් මනුෂ්‍ය ලෝකයෙත් පැවැත්මට පමණක් ඉතුරු කරලා අතිකුත් කර්මයන් ක්ෂය කරනවා. ඇත්ත වශයෙන්ම සකදාගාමී කියල කියන්තේ නැවත එක් වරක් පමණක් මෙලොවට එන. ඉතින් ඒකට ඉඩ තිබෙනව, දිව්‍ය ලෝකෙ එක වරක් ඉපදිලා, ළඟට නැවත මනුෂ්‍ය ලෝකෙට එනවා. ඒකයි. ඊළඟට අනාගාමී තත්ත්වයට පැමිණිය ඒ තැනැත්තාගේ සිත අර භව සංයෝජන කියලා කියන, භවයට බැඳිච්ච ඒ බන්ධන රාශියක්ම කැඩිලා ඊළඟට සුද්ධාවාස කියල කියන බ්‍රහ්ම ලෝකවල උත්පත්තිය ලබලා එතනදිම පිරිනිවන් පානවා. එතකොට සුද්ධාවාස වල විඳින්ට වන සියුම් කර්ම ටික පමණයි ඉතිරි වන්නේ. ඊළඟට අර්හත්වයේදී, රහත් වීමේදී, කෙරෙන්නෙ දිට්ඨ ධම්ම වේදනීය වශයෙන් - මෙලොව වශයෙන් - විපාක දෙන යම්කිසි කර්ම තිබෙනවා නම් ඒවා පමණක් ඉතුරු කරලා අනෙක් සියල්ම කර්ම වේගයන් සංසිඳවනවා. තවත් උපතක් ගෙන දෙන්නේ නැති තත්ත්වයට සිත පමුණුවනවා - ඒ ප්‍රඥා ශක්තිය තුළින්. ඒකට තමයි සංස්කාර සංසිඳීම කියල කියන්තේ - “සබ්බ සංඛාර සමථෝ.” නිවනටම නමක් තමයි සියළුම සංස්කාරයන් සමනය කිරීම. එතකොට මේ සමනය කිරීම, සංසිඳවීම, සන්සුන් කිරීම, නිවීම, කියන මෙන්න මේ වචන රාශිය තුළින් පෙන්නුම් කරන්නේ, මේ සංසාර ගැටලුව බුදුපියාණන් වහන්සේලා විසදූ ආකාරයයි - අවබෝධය තුළින්, ප්‍රඥාව තුළින්, පාරිශුද්ධිය තුළින්.
අන්න ඒ විදියට ඒ ධර්ම මාර්ගය බුදුපියාණන් වහන්සේලා දක්වලා තිබෙනවා. ඒක අනුව අපි කල්පනා කරගන්ට ඕන අපේ මේ ජීවිතය කොයි විදියටද ගෙවිය යුත්තෙ කියල. දැන් මේ පින්වතුන් තව දින කිහිපයකින් අළුත් අවුරුද්දකට, අළුත් ශත වර්ෂයකට, පා තියන්න සුදානම් වෙලයි ඉන්තේ. ටිකක් හිතල බලන්ට ඕන මොකක්ද මේ පසුගිය ශත වර්ෂය කියල. භෞතික වශයෙන් බලනවා නම් මේක ඉතාමත්ම පුදුම විදියේ නිෂ්පාදන තුළින් දියුණුව කරා ගිය ශත වර්ෂයක්. නමුත් ආධ්‍යාත්මික වශයෙන් බලන කොට හයානක පරිහානියකට මුහුණ දුන්නු යුගයක්. ඒකට සමහර විට හේතුව වන්ට පුළුවන් අර භෞතික දියුණුව ගැන - ඒකේ වටිනාකම ගැන - වැරදි විදියේ අවබෝධයක් ඇතිකර ගැනීම. ඒ භෞතික දියුණුව තුළින්ම බොහෝ විට තමන්ගේ ආධ්‍යාත්මික පිරිහානියට කාරණා රැස් කරගන්ට ඇති. මොකද, මේ පින්වතුන් දන්නවා දැන් එදිනෙදා ජීවිතයේ බණ භාවනා කරන්න අවස්ථාවක් නැහැ කියල කියනවා. දවසේ කාලයක් නැහැ කියල කියනවා. ඒකට හේතුව හිතාගන්ට පුළුවන් මොකද කියලා. ගෙදර දොරවල් වල කියන තත්ත්වය පිළිබදව. ඉතින් අපි දියුණුව කියලා කියන කාරණයම තමයි අපේ පරිහානියට හේතු වන්නෙ.
අන්න ඒ නිසා නුවණින් මේ අපේ සාර ධර්ම කියල කියන ජීවිතයේ වටිනාකම් පිළිබද හරි අවබෝධයක් ඇති කරගන්ට උත්සාහවත් වෙන්ට ඕන. නුවණින් සළකලා බලලා, මෙන්න මේ විදියේ ධර්මකථාන්තර ආශ්රයෙන්. මේක අද ඊයේ පමණක් නොවෙයි. ඒ කාලයට පමණක් නොවෙයි, මහාකාල උපාසක මහත්තයට පමණක් වන දේවල් නොවෙයි, අපි කාටත් වන දේවල්. මේවා තුළ තියන ධර්මතාව බුද්ධ වචනය අනුව කල්පනා කරලා මේ සංසාරයෙන් මීදීම සදහා උපකාර වන ගතයුතු ගමන් මාර්ගය, ආර්ය අෂ්ටාංශික මාර්ගය, ත්‍රිවිධ ශික්ෂාව වඩන්න උත්සාහවත් වෙන්ට ඕන - බාධක මධ්‍යයේ හෝ. මක්නිසාද මධ්‍යකාල බුද්ධෝත්පාද කාලයක විතරයි මේක කරන්න පුළුවන් වන්නේ. අබුද්ධෝත්පාද කාලයක අපට මේ “නිවන” කියන වචනය වත් අහන්ට ලැබෙන්නේ නෑ. ඇහුනත් තේරෙන්නේ නෑ. අන්න ඒ විදියේ පුදුම යුගයක්. අන්න ඒක නිසා මොන විදියකට මේ ශත වර්ෂයක් ගැන කල්පනා කළත්, අපි ඇත්ත වශයෙන්ම මේ එක මොහොතයි ජීවත් වන්නේ. මේ මොහොත පමණයි අපි ජීවත් වන්නෙ. ජීවිතයයි ආත්ම භාවයයි කියලා අපි කියන හැම එකක්ම ඉතාම සුළු ක්ෂණයයි පවතින්නේ. ඒ ක්ෂණය බිඳිලා යනවත් එක්කම එතනින්ම ඉවරයි. නමුත් අපි මේ ගැටගහගන්නවා අවිද්‍යාවෙන්, තණ්හාවෙන්. එතකොට මෙන්න මේ සත්‍යතාවයි කෙනෙක් භාවනාව මගින් ප්රත්යක්ෂ කර ගත යුත්තෙ. මේ අනිත්‍යතාව කියලා කියන - බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කොට වදාළ මේ සත්‍යතාව අපි හිතෙන්ම ප්රත්යක්ෂ කරගන්ට ඕන. මේක දකින්ට ඕන. ඒ දැකීම තුළින් තමයි. අර ගැටගැසීම නතර වන්නේ. උපාදනය කියල කියන්තේ අල්ලා ගැනීම. හිත හැමතිස්සෙම යමක් අල්ලගන්නවා, ඉතාම ශීඝ්‍රයෙන්. කැලේක ගහකින් ගහකට පනින වඳුරෙක් වගේ මේ සිත අල්ලගෙන යනවා. එතකොට මේ සිතේ ක්‍රියාකාරීත්වය දැකීම තමයි අර විදර්ශනාවේදී මෙනෙහි කිරීම කියල කියන්නේ. සමාධිමත් සිතකින් මේ සිත ක්‍රියා කරන ආකාරය දකින්ට පුරුදු වෙන්ට ඕන. මේ අපේ කය වචනය කියල කියන තුන් දොර - බුදුපියාණන් වහන්සේ දක්වා වදාළ ශික්ෂා පද ආශ්රයෙන් - ජීවා පිළිබදව පාලනයක් කරගන්ට සිද්ධ වෙනවා. ඊළඟට ඇස, කණ, නාසය, දිව, කය, මන කියල කියන ඒ දොරවල් හය පිළිබදවත් - මක්නිසාද මෙන්න මේ දොරවල් තුළින් තමයි අකුසල් ආදිය ගලාගෙන එන්නේ. මේවායින් හිත මෑත් කරලා, ඊළඟට යම්කිසි පිරිසිදු කර්මස්ථානයක් තුළින්, කුසල නිමිත්තක් තුළ සිත බොහෝ වේලාවක් රදවා ගැනීමෙන් සමාධි ශක්තිය - තමාගේ සිතේ කියන ප්‍රබලතාව - ඒ ශක්තිය තමන් අත්දකින්ට ඕන. ඒ විදියට සමාධිමත් සිතකින් තමයි තමාගේ පංචස්කන්ධයේ යථා තත්ත්වය, ලෝකයේ යථා ස්වභාවය දකින්ට පුළුවන් වන්නෙ. අන්න ඒකයි මේ බුදුපියාණන් වහන්සේ දක්වා වදාළ ලෝකෝත්තර විමුක්තිය. ඇත්ත වශයෙන්ම මේ කර්ම පටලැවිල්ලෙන් බේරෙන්ට පුළුවන් වන්නේ ධර්මයෙන් පමණයි. මේ කර්ම චක්‍රයේ බලගතු ශක්තිය බිඳින්ට පුළුවන් වන්නේ ධර්ම චක්‍රයෙන් පමණයි.
අන්න ඒක නිසා මේ පින්වත් පිරිස කල්පනා කරන්ට ඕන. අපේ එදිනෙදා ජීවිත රටාව පිළිබදව සැළකිය යුතු සංශෝධනයක් කරගන්ට උත්සාහවත් වෙන්ට ඕන. අඑත් ආරම්භයක් නම්, තමන් හිතතව නම් මොන ලෝක සම්මතයකට අනුව හෝ අළුත් ශතවර්ෂයකට අපි මූණ දෙනවා කියලා හිතනවා නම්, ඒ අනිකුත් නිසරු දේවල් නොවෙයි ජීවිතේ සාරධර්ම ගැන හිතලා ඒ අනුව තමන්ගෙ එදිනෙදා ජීවිත රටාව සකස් කරගන්ට ඕන. දින චරියාව සකස් කරගන්ට ඕන. කාල සටහන සකස් කරගන්ට ඕන. ඒ වගේම වැදගත් දෙයක් තමයි “ආජීවය” කියල කියන තමන්ගේ ජීවන මාර්ගය. ජීවන මාර්ගය භයානක අන්දමින් අධර්මයට නැඹුරු වන යුගයක්, අධර්ම ජීවිකාවන්ට ඉඩ දෙන යුගයක් හැම පැත්තෙන්ම. නමුත් තමන් කල්පනා කරන්න ඕන තමන් සංසාරය කෙටි කරගන්නවද? එහෙම නැත්තම් සංසාරයේ දිගින් දිගට යනවද? මේ විදියේ දුක් රාශියක් මැද්දෙන්. අපි අකැමැති දුක් වලට නම්, ඒ දුක් වලට හේතුවන දේවල් අපි කළ යුතු නෑ. අපි දැන දැන වසවිස පානය කරන්නේ නෑ. දැන දැන තමන් වතුර බොන ලිඳකට වසවිස දාන්නේ නෑ. අන්න ඒ විදියේ තත්ත්වයක් නම් අපි කල්පනා කරන්න ඕන තමන්ට තමන් හතුරෙක් නොවීමට. ඒ බුදුපියාණන් වහන්සේ දක්වා වදාළ ධර්ම මාර්ගය තුළින්ම අපි නැගී සිටින්ට ඕන.
දැන් සමහර කෙනෙක් මේ කාලෙ කියනව අහෙනවා - සමහර තර්කකාරයින් - භවය වැඩෙනවය කියල කුසල් ධර්ම කිරීමෙන් පවා. ඒක නිසා ඒකත් නොකර ඉන්නෙයි කියල. ඒක වැරදි අදහසක්. මෙතන තියෙන්නේ මධ්‍යම ප්‍රතිපදාවයි. අකුසලයෙන් ඉවත් වෙන්න කුසලය උපකාර කරගන්නවා. ඒ කුසලය තුළින් ඇති කරගන්න සුචරිතය - ඒක තුළින් තමයි සමාධියක් ඇතිවන්නේ. සිතේ ඇති පසුතැවිලි ආදිය ඉවත් කරල හිතේ යම්කිසි සොම්නසක් තුළින් තමයි, ප්‍රසාදයක් තුළින් තමයි, සිතේ සමාධියක් ඇතිවන්නේ. ඒ නිසා දන් පින් ආදී හැම දේකම ප්‍රයෝජනයක් තියනවා මධ්‍යම ප්‍රතිපදාවට අනුව. එතැතින් නවතින්නෙ නෑ, හැබැයි. ඒ සිත සකස්කර ගත්තට පස්සේ කරන්නෙ මොකක්ද අර විදියට ප්‍රඥාවට උපකාර වන විදර්ශනා භාවනාව වඩනවා. ඔන්න ඔය තත්ත්වය. ඕවා පිළිබඳව පටලවා ගන්නෙ නැතිව, නයාගෙ වල්ගෙන් අල්ලගන්නෙ නැතිව, මේක මේ පහුරකින් එතෙර වන්නා වගේ, මේ හැම එකක්ම අපි උපකාරී කරගෙන, මේ අපේ සිත නිවන කරා පමුණුවා ගන්න උත්සාහවත් වෙන්ට ඕන.
එතකොට ඊළහ ශතවර්ෂයක්, එහෙම නැත්තම් ඊළහ අවුරුද්දක් පිළිබදව අපි කල්පනා කරනවා නම්. අපේ දූදරුවන් ඒ හැමකෙනෙකුගේම ජීවිත හැඩ ගැහෙන ආකාරයට අපි උපදෙස් දෙන්න, කථා කරන්න, ඒ අයට අපි දන්නා ධර්මය කියා දෙන්න කලයාණ මිත්‍රයන් හැටියට, ඒ තරම් ශක්තියක් ඇති කරගන්ට ඕන. ඒ ශක්තිය ඇති කරගන්ට පුළුවන් වන්නේ තමනුත් ඒ ධර්මයේ යෙදීමෙන්. මේ විදියට සිල් සමාදන් වෙලා, තමනුත් භාවනා කරනවා නම්, විපතකට පැමිණි අවස්ථාවේ, කෙනෙක් හරියට අතමාරුවක් ඉල්ලනවා වගේ යම්කිසි ගැටළු අවස්ථාවකට මූණ පාලා ඉදිරිපත් වුනාම, ධර්මානුකුලව, ඒ තැනැත්තා හයානක විපතකට පත්වෙලා ඉන්නවා නම් ධර්මයට අනුව ඒකෙන් වළක්වා ගන්ට පුළුවන් වාග් ශක්තිය ඒ පුද්ගලයාට ඇති වෙනවා. එබදු කල්‍යාණ මිත්රයින් ඇතැම් විට සිටිනවා මේ ධර්ම මාර්ගයට යොමු වෙච්ච අය අතර.
අපි එතකොට බලාපොරොත්තු වෙනවා මේ පින්වත් පිරිසත් මේ විදියට ධර්ම මාර්ගයේ ගමන් කරමින් මේ භයානක ප්රපාතයක් කරා යන යුගයක් නිසා අනූනවයෙන් හරි බේරිලා - “අනූනවයෙන්” - මේ ප්‍රපාතයෙන් බේරිලා - ධර්ම මාර්ගයට නැඹුරු වෙලා මෙතන මේ කියාපු සංසාරයේ භයානක තත්ත්වය අවබෝධ කරගෙන ඒ තුළින් තමතමන්ගේ දින චරියාවේ කොයි තරම් වැඩ රාජකාරි තිබුණත්, ආරම්භයක් කරන්න ඕන, සුළු වේලාවකින් හරි. සමහරවිට දවසේ මුළු කාලයම අපිට මේ මේ කටයුතු සදහා යොදන්න වෙනවා කියලා මැසිවිලි කියනවා. එබදු අය යටත් පිරිසෙයින් විනාඩි 10 ක් 15ක් කලින් නැගිටල හරි අමුතුවෙන් කාලය ලබාගන්නවත් ඕන. එහෙම යම්කිසි ආරම්භයක් කළොත්, එතන ඉඳල තිබෙන්නෙ අන්න අර කුශලච්ඡන්දය කියල කියන කුශලයේ ආනිසංසය එනකොට, සුළු භාවනාවක් කළත් එයින් එන ආනිසංසය තුළින් අන්න ඊළඟට උද්යෝගය වැඩෙනවා. ඕනෑකම වැඩෙනවා. ඒ වගේම කලයාණ මිත්‍ර ආශ්‍රය අත්‍යාවශ්‍යයි. බුදු පියාණන් වහන්සේ වදළ ඒ ප්‍රකාශයට අනුව මේ මුළ මහත් ශාසනයම කලයාණ මිත්‍රතාවයි. ඒක නිසා තමනුත් කලයාණ මිත්‍රයෙක් වෙන්ට උත්සාහ කරන අතර, ඒකට උපකාර කරගන්ට ඕන අනෙකුත් කලයාණ මිත්රයින්. අමාරුවෙන් හරි ඒ අය හමුවෙලා ඒ අයගේ උපදෙස් අරගෙන මේ කටයුතු ඉදිරියට කරගෙන යන්න උත්සාහවත් වෙන්ට ඕන.
දැන් එතකොට මේ පින්වතුන් අර විදියට කල්පනා කරගෙන, තමන් මේ එදිනෙදා ජීවිතයේ කරන ක්‍රියාවලියත්, ඒළඟට සිතුවිලි පරම්පරාවත්, මේ හැම එකක්ම අර කර්මයේ ඇති හයානකත්වය මෙනෙහි කරමින් කරන්ට පුරුදු වුනොත් අන්න තමන් දුසිරිතෙන් වැළකීමටත්, සුසිරිතට නැඹුරු වීමටත් ඒක උපකාරයක් වෙනවා. ඒ විදියට කල්පනා කරගෙන දැන් අද මේ වටිනා පෝය දවසේ - මේ අවුරුද්දක් ඉවර වෙන පෝය දවස - ඒක නිසා යම් යම් විශේෂ අධිෂ්ඨාන ඇති කරගන්ට හොඳ අවස්ථාවක්. ඒ විදියට මේ අවස්ථාවේ වටිනා ශීලයක් සමාදන් වෙලා සිත, කය, වචනය හික්මවා ගෙන, ඒවගේම ශ්‍රද්ධාව, වීර්ය, සතිය, සමාධිය, ප්‍රඥාව කියල කියන ඒ ඉන්ද්රිය ධර්ම, බලධර්ම, ඇතිවන ආකාරයට එහෙම නැත්තම් ඒවා වැඩෙන ආකාරයට තමන්ගේ සිත කය වචනය පවත්වමින්, මේ පැය තුළ ධර්මශ්රවණය කළා. මේවායේ ආනිසංස හැටියට මේවා ඈත අනාගතයකට දාන්නේ නැතුව මේ මේ අවස්ථා වලම මේවායේ සම්පූර්ණ එල ප්‍රයෝජන ලබාගෙන මේ අති භයානක සංසාරයෙන් මිදෙන්ට අධිෂ්ඨාන කරගන්න ඕන. ඒ සදහා අද දින කරන ලද මේ කුසල සම්භාරය, එහෙම නැත්තම් සිත, කය, වචනය හික්මවා ගැනීමෙන්, ධම් ශ්‍රවණය කිරීමෙන් රැස්කර ගත්තු කුසල සම්භාරය, ඒකාන්තයෙන්ම අපිට හේතු වාසනා වේවා, මේ සංසාර දුකෙන් අත්මිදෙන්නට කියලා ඒ විදියට ප්‍රාර්ථනා කරගන්ට ඕන. ඒ වගේම අප විසින් ධම් ශ්‍රවණමය වශයෙනුත්, ධම් දේශනාමය වශයෙනුත්, රැස්කර ගත්තු කුසල සම්භාරය මේ විශ්වයේ යම්තාක් දිව්‍යබ්‍රහ්ම මණ්ඩලයක් සිටිනවා නම් ශාසනාරක්ෂක, ඒ හැමදෙනාම සතුටු සිතින් අනුමෝදන් වෙත්වා! උන්වහන්සේලාගේ පාරමී ශක්තීන් දියුණු කරගෙන, ලෝක ශාසනයේ පැවැත්ම සදහා උදව් කරන්න උන්වහන්සේලාට ශක්තිය බලය ලැබේවා! උන්වහන්සේලා හැම දෙනාම ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමා මහ නිවන් දකින්වා! කියලා, ඒ දෙවියන්ටත් අනුමෝදන් කරන්න ඕන. ඒ වගේම තම තමන් නමින් නැසී මිය පරලොව ගියාවූ යම්තාක් ඥාතීන් සිටිනවා නම් ඔවුනුත් ඇතුළු අවීචියේ සිට අකනිටාව දක්වා වූ සියළුම සත්ත්වයෝ මේ ධම් ශ්‍රවණමය ධම් දේශනාමය කුසලය අනුමෝදන් වෙත්වා! මේ අති භයානක ජාති ජරා ව්‍යාධි මරණාදී සංසාර දුකින් අත්මිදී උතුම් අමා මහ නිවනින් සැනසෙන්ට මේ කුසලය හේතු වේවා! කියලා මෙන්න මේ විදියට ගාථා කියල පින් දෙන්න.